egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

කවිය සහ සමාජ මාධ්‍ය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් සංවිධානය කරන සන්නිවේදන කතිකාවත වැඩසටහනේ Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වු සිව්වන වැඩසටහන 2021 මාර්තු 31 වනදා පැවැත්වීය. "කවිය සහ සමාජ මාධ්‍ය " නම්වූ මෙම වැඩසටහන පැවැත්වුයේ රාජ්‍ය සම්මානලාභී කිවියර සුනන්ද කරුණාරත්න ඇතුළු ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙනි.

කවිය සහ සමාජ මාධ්‍ය
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සංවිධානය කළ "කවිය සහ සමාජ මාධ්‍ය " සන්නිවේදන කතිකාව රාජ්‍ය සම්මානලාභී කිවියර සුනන්ද කරුණාරත්න මහතාගේ ආරාධිත සහභාගිත්වයෙන් පුවත්පත් මණ්ඩලයේ කොමසාරිස් නිරෝෂන තඹවිට මහතාගේ සහභාගිත්වයෙන් සහ මාධ්‍යවේදී ගාමිණී කන්දෙපොල මහතාගේ මෙහෙයවීමෙන් ග්‍රාහක පිරිසකගේ සහභාගිත්වයෙන් zoom තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

කවිය හා සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරිත්වය පිලිබඳ ව කෙරුණු කතිකාවේ සමාලෝචනය ඉදිරිපත් කිරීමට අප අදහස් කළෙමු.

කතිකාවට ප්‍රවේශයක් ලබා දෙමින් පුවත්පත් කොමසාරිස් නිරෝෂන තඹවිට මහතා පැවසූයේ මෙවැනි අදහසකි . " ශ්‍රී ලංකාවේ බොහෝ සාහිත්‍ය නිර්මාණකරුවන් දීර්ඝ කාලයක් පුරා මුහුණ දුන් ගැටලුවක් වූයේ සිය ප්‍රකාශනය පහසුවෙන් පොදු සමාජය වෙත රැගෙන යාමට මාධ්‍යක් නොතිබීම. ජනමාධ්‍ය තුළින් ඊට වෙන් වූයේ සීමිත ඉඩ අවකාශයක් පමණයි . නමුත් සයිබර් අවකාශය හා ඒ තුළින් ගොඩනැගුණු සමාජ ජාලකරණ අවස්ථා නිසා මෙම තත්ත්වය වෙනස් වීමත් වර්තමානයේ එම ගැටලුව මග හැරී නිර්මාණාත්මක ලියන්නෙකුට සිය නිර්මාණ පොදු සමාජය වෙත රැගෙන යාම සදහා සමාජ මාධ්‍ය හොද වේදිකාවක් බවට පත් වී තිබෙනවා."

කවිය යනු ජීවිතය නැමැති වියවුල මදකට නවත්වා පිහිටවාලූ ස්ථානයක් .සැබැවින්ම රසය ආත්ම කොටගත් වැකිය කාව්‍ය ලෙස අර්ථකථනය කළ හැකියි .එය ආනන්දයෙන් ඇරඹී ප්‍රඣ්‍යාවෙන් අවසන් විය යුතු නැහැ .ආනන්දයත් ප්‍රන්‍යාවත් යන දෙකම සම්ප්‍රදානය කරන යම්කිසි දෙයක් වුවද විය හැකියි. කවිය පුද්ගල ජීවිතයට බද්ධ දෙයක් වගේම යම්කිසි මොහොතක අපි හැමෝම කවියෙක්.සමාජ මාධ්‍ය යුගයේ හැමෝම කවියෙක් යැයි රාජ්‍ය සම්මානලාභී කිවියර සුනන්ද කරුණාරත්න මහතා වැඩිදුර අදහස් දක්වමින් පැවසීය.

කවිය වූ කලී සමාජ බද්ධව පවතින්නකි. එක්තරා ආකාරයකට සමාජය කියවීමක් මෙන් ම සමාජ විවරණයක් ලෙස ද කවිය අර්ථකථනය කල හැකිය. මෑත කාලයේ සිදු වූ අන්තර්ජාලයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග සිදු වූ යහපත් සංසිද්ධියක් නම් නව පරපුරේ නිර්මාණකරුවන්ගේ ආගමනයයි. එමගින් තමන්ගේ හැකියාවන් එළි දැක්වීමට සමාජ මාධ්‍ය මනා පිටිවහලක් කරගත් මග හෙළි පෙහෙළි කරගත් පිරිස විශාල ය.

විශාල ජන පිරිසකට එමගින් බලපෑමක් වන නිසා මෙහි සුවිශේෂ අන්තර්ගත කොටසක් වන කවිය හා සමාජ මාධ්‍ය පිලිබඳ විමසා බැලීමට මෙය හොද අවස්ථාවක් විය.

මේ නිසා පුද්ගලයාට ස්වකීය අදහස් ප්‍රකාශ කිරීමට හා එය පොදු සමාජයට සන්නිවේදනය කිරීමට පුළුල් අවස්ථාවක් උදා වී තිබේ . එය නිර්මාණශීලිත්වය වඩවා ගැනීමට මේ මගින් විශාල ඉඩකඩක් සපයා ඇත . සමාජ මාධ්‍ය තුළ කවිය හා කවීන් බිහි වීම එහි ප්‍රතිඵලයයි . නමුත් සමාජ මාධ්‍ය තුළින් කවිය නිවැරදිව සමාජගත වනවාද? යන්න වෙනමම සාකච්ඡාවට බදුන් කිරීම කාලෝචිතය . මේ පිලිබඳව අවධානය යොමු කරමින් කවිය හා සමාජ මාධ්‍ය සමාජයට මෙන්ම පුද්ගලයාට කරන බලපෑම ධනාත්මක හා ඍණාත්මක ද යන්න සාකච්ඡාවට බදුන් කිරීම විද්වත් කතිකාවත තුළින් සිදු විය.

කවිය යනු දාර්ශනික දෙයක් .බෂෝර්,කයියාන් පවසන ආකාරයට කවිය දුර්ලභයි.කවිය යනු කුමක්දැයි නිශ්චිතව අර්ථකථනය කරන්න බැහැ .එහි ගුණාත්මක බව මැනීමට පැරණි මිනුම් දඩු භාවිතය සුදුසු නැහැ .සයිබර් අවකාශයේ පල කරන කවිය වෙනමම දැනීමක් .එය වෙනත් කාලවල කවිය හා සැසදිය යුතු නැහැ .මෙය වෙන අවකාශයක පල කරන ලද ජනප්‍රියවාදය හා බැදුණු කලාවක් . වර්තමානයේදී සමාජ මාධ්‍ය තුළින් නිර්මාණකරුවන් විශාල පිරිසක් බිහි වෙනවා මේ නිසා කලාව කෙරෙහි වත්මන් තරුණ පරපුර තුළ සැළකිය යුතු මට්ටමක නැඹුරුවක් ඇති වෙලා තිබෙනවා. මෙවැනි නැඹුරුවකට පුද්ගලයා යොමු වීමට කරුණු කිහිපයක් ම බලපා ඇත.ආත්ම ප්‍රකාශනයට ,පුද්ගලයාට දැනෙන හැගෙන දේ සමාජ මාධ්‍ය හරහා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා .එයට පාඨක ප්‍රතිචාර ඉක්මනින් ලැබීමත් එහි ධනාත්මක පැතිකඩක් බව මාගේ අදහස යැයි දර්ශන අශෝක මහතා පැවසීය.

සමාජ මාධ්‍ය පුළුල් ලෙස මහජනතාව අතර භාවිතයට පැමිණෙන්නේ විසිවන සියවස ආරම්භයේදීය. නව මාධ්‍ය ලොව ප්‍රචලිත වීමත් සමග එය නූතන ජන ජීවිතය තුළ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් සමාජයේ ප්‍රබලතම මාධ්‍ය බවට සමාජ මාධ්‍ය පත් වී තිබේ.

මෙවැනි අවකාශයක සමාජ මාධ්‍යයේ ආගමනය නව නිර්මාණකරුවන්ට සිය නිර්මාණාත්මක හැකියාවන් මේ හරහා සමාජගත කිරීමේ අවස්ථාව ලැබීම ධනාත්මක බැලපෑමක්. මේ නිසා ජනමාධ්‍ය මගින් නොලැබෙන අවකාශයක් ඕනෑම අයෙකුට ෆේස් බුක් වැනි සමාජ මාධ්‍යකින් තමන්ටම සකස්කර ගත හැකි වීම හොද ප්‍රවණතාවයක්. එයට ඉතා අඩු කාලයක් තුළ පාඨක ප්‍රතිචාර ලබා ගැනීමට සමාජ මාධ්‍ය තුළ ඉදිරිපත් කරන නිර්මාණවලට. අතීතයේ නවක කවීන්ට තම නිර්මාණ සමාජයට ගෙන යා හැකි මාධ්‍යයන් බවට පත් වූයේ පොතක් ලෙස මුද්‍රණය කිරීම ,පුවත්පතක , සගරාවක පල කිරීම යනාදියයි. එහෙත් අතීතයේ මෙන් වර්තමාන පරම්පරාව බොහෝ දුරට පුවත්පතක හෝ සගරාවක තම කවි පල කර ගැනීමට පෙර මෙන් වෙහෙසක්, උනන්දුවක් නොදක්වන්නේ සමාජ ජාල මාධ්‍ය ඊට අවශ්‍ය අවකාශය නිර්මාණය කර ඇති නිසාය. තම නිර්මාණ රසිකයන් අතරට පහසුවෙන් හා ඉක්මනින් ගෙන යා හැකි කෙටිම ක්‍රමය සමාජ ජාල අවකාශයන් තුළ පල කිරීම බව ඔවුන් විශ්වාස කිරීම ඊට හේතුවයි . නමුත් එදා මෙන් අදත් පුවත්පත් කවි පිටුවලට ද තවමත් සමාජයේ වටිනාකමක් පවතින බව විද්වත් කතිකාවට සම්බන්ධ වූ බටුවන්ගල රාහුල හිමි පැවසීය.

කවිය වර්ධනය කරනවාද? එසේත් නැත්නම් මර්දනය කරනවා ද? යන්න කෙරෙහි බලපාන්නේ පවතින සමාජ තත්වයයි.බොහෝ විට කවි ලිවීමට ප්‍රස්තුත වස්තු විෂය ලැබෙන්නේ ද සමාජය තුලින්මය. පුද්ගල සිතුවිලි නිර්මාණශීලී සහ සුමට ලෙස සංස්පර්ෂණ කරමින් සමාජ සන්දර්භය තුළ මිනිසා අත්විඳින සමාජ සංස්ථා ,අසාධාරණය , සමානතවය, නීතිය ,සංස්කෘතික ගැටුම් , ගැටලු ආදි පොදු අනුභූතීන් කියැවීමයි. වර්තමානය තුළ දක්නට ලැබෙන බොහෝ කවි සමාජ , ආර්ථික ,දේශපාලනික යන කරුණු පදනම්ව රචනා කිරීම දැකගත හැකි බව මෙහිදී මතු විය .බොහෝ අවස්ථාවල මේවා කෙටි කවි ලෙස පලවන්නේ යැයි සුනන්ද කරුණාරත්න මහතා ඊට උපහැරණ ගෙන දක්වමින් පැහැදිලි කලේය.

අත් හැරුණු කුඩයක්
වැටෙන වැහි බිදු
තනි වුණු බංකුවක්

චිත්ත රූපවලට කතා කිරීම මෙහි ලක්ෂණයකි .ග්‍රාහකයා තුළ සංවේදනාවක් ඇති කරවමින් රූපකාර්ථයෙන් කරන මේ ඉදිරිපත් කිරීමට මෙහි නිර්මාණකරු උත්සාහ ගෙන ඇති ආකාරයක් දැකගත හැකිය.

සයිබර් අවකාශයේ කවීන්ගේ සංගම් ඇති වීමත් නිර්මාණකරුවන් ප්‍රමාණය වේගයෙන් ඉහළ යාමත් මෙහි තවත් එක් ප්‍රතිඵලයකි . කවි සංවාද වැඩසටහන් පැවැත්වීම, කාව්‍ය සංග්‍රහයන් එළි දැක්වීම මෙන්ම සමාජ ජාල වෙබ් අඩවි හරහා හදුනාගනිමින් ඔවුන් සුහද හමු වැනි දේ සංවිධානය කිරීම, නිර්මාණාත්මක අදහස් දැක්වීම තුළින් තමන්ගේ අනන්‍යතාව ගොඩනගා ගනිමින් සිටින ආකාරයක් ද දැකගත හැකි බව සාකච්ඡාවට සම්බන්ධ වූ බොහෝ පාර්ශවයන්ගේ අදහස විය.

නිර්මාණකරුවාට අසීමිත නිදහසක් ලබා දෙන සමාජ මාධ්‍ය තුළ වාරණයන් පවතින්නේ නැති තරම්ය. දොරටුපාලකයන් නොමැති වීම ඊට හේතුව ලෙස පෙන්වා දිය හැකිය. ව්‍යාකරණ සීමා , ඉඩකඩ මෙන් ම සංස්කෘතික සීමා ආදී සියල්ල අභිබවමින් නූතන නිර්මාණකරුවන් කටයුතු කරන්නේ ඒ නිසාවෙනි. එහෙත් මෙම අවකාශය තුළ කලාකරුවන් විකල්ප අදහස් සමාජගත කිරීමේදී සාධනීය කාර්යභාරයක් ඉටු කරන අවස්ථාවලට උදාහරණ අප සමාජයේ දැකගත හැකිය. එසේම මෙම අවකාශය තුළ ගොඩනැගෙන සංවාදයන්ද පුද්ගලයාට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට මෙන්ම තම සමාජ සම්බන්ධතා මෙන්ම අන්‍යොන්‍ය සම්බන්ධතා පවත්වාගෙන යාමේදී වැදගත් කාර්යභාරයක් සිදු කරන බව සාකච්ඡාව තුළින් තව දුරටත් පැහැදිලි විය.

පුවත්පත්වල පල කර ගැනීමට වඩා පහසුවෙන් සහ ඉක්මනින් අන්තර්ජාලයට මුදා හැරිය හැකි වීම තමාගේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට හැකි වීම , ෆේස් බුක් වැනි සමාජ ජාල මගින් තම නිර්මාණ පහසුවෙන් පාඨකයා වෙත රැගෙන යාමට හැකි වීම තම ආත්ම ප්‍රකාශනයට ආධුනික ලේඛකයන්‍ට ඉඩකඩක් හිමි වීම එහි පවතින ප්‍රබලතා ලෙස පෙන්වා දිය හැකිය.

නමුත් ඩිජිටල් සාහිත්‍ය ජීවිතය තුළ අපට මුහුණ දීමට සිදුවන අභියෝගද සුලුපටු නොවන බව අප සිහිතබා ගත යුතුය. වගකීමෙන් තොර එනම් නියාමනයකින් තොර භාවිතයකට ඉඩකඩ විවර වීම නිසා සමාජයේ නොයෙක් ක්ෂෙත්‍රයන්හි බිද වැටීම්වලටද මෙය හේතු වූ අවස්ථා වර්තමානයේද දැකගත හැකි වේ. පුද්ගලයා සැබෑ සමාජ ජීවිතයෙන් ඈත් වී අන්තර්ජාලයට සීමා වීමද ගැටලුවකි. තාක්ෂණය සමග වැඩි වශයෙන් කටයුතු කිරීම නිසා පුද්ගලයාගේ පරිකල්පන ශක්තිය, නිර්මාණ ශක්තිය බිද වැටීමට ඇති අවකාශය පුළුල් වීම ද තවත් එක් අභියෝගයකි.

කවිය කුමක්ද ?යන්න වටහා නොගත් පිරිස් ද ෆේස් බුක් හරහා කවි පල කරයි .ඇතැම් අය අතිශය පවුද්ගලික අත්දැකීමක් වුවද කවීත්වයකින් තොරව සටහන් කරන කවි ලෙස ඉදිරිපත් කරයි. ඇතැම් පිරිස් එවැනි පවුද්ගලික අත්දැකීම් වලින් ඔබ්බට ගොස් පොදු ජනතාවගේ අත්දැකීම් කවියට නගයි. ෆේස් බුක් සමාජ ජාලය අද වන විට විවිධ අරමුණු සදහා භාවිතා කෙරේ.මෙය රටේ සියලුම ක්ෂේත්‍ර කෙරෙහි විශාල බලපෑමක් සිදු කරන අවියක් බවට පත් වී තිබෙන්නේ සාමාන්‍ය ජනතාව පවා සමාජ ජාල පරිශීලනයට වැඩි නැඹුරුවක් දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.
මෙය ඉතා උපක්‍රමශීලීව භාවිතා කරන්නේ නම් එය ආධුනික නිර්මාණකරුවෙකුට වුවද තම නිර්මාණ පුළුල් පාඨක සමාජයක් වෙත ගෙන යෑමට අවස්ථාවක් ලැබෙන බවත් විවිධ සාහිත්‍ය පඨිතයන් අධ්‍යයනය කිරීමේ අවස්ථාව මේ හරහා ලබාගත හැකි බවත් සාකච්ඡාවට සම්බන්ධ වූ වැඩි පිරිසකගේ පොදු ප්‍රතිචාරය විය.

Image