egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

අප ගැන

දැක්ම

ශ‍්‍රී ලංකාවේ පුවත්පත් නිදහස සුරක්ෂිත කිරීම

මෙහෙවර

එම නිදහසින් අයුතු ප‍්‍රයෝජන ගැනීම වළක්වාලීම

ඉතිහාසය

නෛතිකව කෙරෙන බලකිරීමට වඩා ස්වයං විනයකින් යුතුව කටයුතු කිරීමට ජනමාධ්‍යවේදීන් පෙළඹවූ පුවත්පත් මණ්ඩලයේ ගමන් මඟ…

1973 අංක 5 දරන පුවත්පත් මණ්ඩල පනතෙහි විධිවිධානයන්ට අනුව 1973 වර්ෂයේ ජුනි මාසයේ 14 වෙනිදා එවකට පැවති ප්‍රවෘත්ති හා ගුවන්විදුලි අමාත්‍යාංශය යටතේ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් ලෙසින් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ආරම්භ විය. මෙහි වර්තමාන රේඛිය අමාත්‍යාංශය වනුයේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයයි. මේ දක්වා විවිධ යුග වලදී විවිධ අමාත්‍යංශ යටතේ මෙම ආයතනය ක්‍රියාත්මක විය.

1973 සිට 1977 - ප්‍රවෘත්ති හා ගුවන්විදුලි අමාත්‍යාංශය
1977 සිට 1989 - රාජ්‍ය අමාත්‍යාංශය
1989 සිට 1994 - සංස්කෘතික හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය
1994 සිට 1997 - ජනමාධ්‍ය සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය
1997 සිට 1999 -තැපැල් විදුලි සංදේශ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
1999 සිට 2000 දක්වා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය

තවද මෙම ආයතනය 2000 සිට 2001 දක්වා සුළු කාලයක් අතිගරු ජනාධිපතිනිය යටතේ ද, ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් හත් දෙනෙකුගෙන් සමන්විතය. මෙහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පුවත්පත් කොමසාරිස්වරයා කටයුතු . ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනතට අනුව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිලබලයෙන්ම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු වේ. වර්ෂ 1973 සිට මේ දක්වා විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන විද්වතුන් කිහිපදෙනෙකුම මෙම ආයතනයේ සභාපතිවරුන් ලෙස කටයුතු කර තිබේ.

1973 සිට 1974 - ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඒ.කේ. ප්‍රේමදාස මහතා
1974 සිට 1977 - පී.එම්.විලියම් ද සිල්වා මහතා
1978 සිට 1986 - ජනාධිපති නීතිඥ ජේ.ඩබ්ලිව්. සුබසිංහ
1987 සිට 1991- නීතිඥ එම්.හුසේන් මහතා
1991 සිට1994- නීතිඥ ඒ.එල්.එම්. ප්‍රනාන්දු මහතා
1994 සිට 1997 - ඒ.ඒ.ද සිල්වා මහතා
1998 සිට 1999- ආචාර්ය පී.වී.ජේ. ජයසේකර මහතා
2000 සිට 2001- ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා
2009 සිට- මහාචාර්ය සෝමරත්න බාලසූරිය මහතා
2010 සිට 2014 - ජනාධිපති නීතිඥ ඩබ්ලිව්.දයාරත්න මහතා
2015 සිට 2019 - අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා
2020 සිට මේ දක්වා - ජේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා

වත්මන් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස, ජේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා (සභාපති ) ප්රවුර්ත්ති අධ්යක්ෂ ජෙනරාල් මොහාන් සමරනායක මහතා,ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා,ජනාධිපති නීතිඥ ප්රශාන්ත ලාල් ද අල්විස් මහතා ,නීතිඥ ගාමිණි විජයවර්ධන මහතා, ජේෂ්ඨ මාධ්යවේදී ආරියනන්ද දොඹගහවත්ත මහතා, කේ.ජි.සී.පී බණ්ඩාර මහතා යන විද්වතුන් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් මෙහි කටයුතු කරති. වර්තමානයේ පුවත්පත් කොමසාරිස්වරයා ලෙස නිරෝෂණ තඹවිට මහතා කටයුතු කරයි.

ආරම්භයේ සිටම ස්වාධීන ආයතනයක් ලෙස සිය අපක්ෂපාතී අනන්‍යතාවය ස්ථාපිත කිරීමේදී සාධාරණත්වය පතා මණ්ඩලය ඉදිරියට පැමිණෙන වගඋත්තරකාර සහ පැමිණිලි යන පාර්ශව දෙකටම සුහදශීලීව සහ ගෞරවාන්විතව සැලකීම, මණ්ඩලය ඉදිරියේ විභාගවන පැමිණිලි කල් දැමීමකින් තොරව සුහදශීලි වාතාවරණයක් තුළ පවත්වාගෙන යාම සහ පුවත්පත් මණ්ඩල පනත සහ නියෝගවලට අනුරූපව දෙපාර්ශවයටම සාධාරණත්වය ඉටු කිරීමට තම උපරිමයෙන් ක්‍රියා කිරීම මණ්ඩලයේ ප්‍රධාන වගකීම වේ.

එපමණක් ද නොව සාධාරණත්වය ඉටු කරන ආකාරය බාහිර සමාජයට දැන ගැනීමට ලැබෙන අයුරින් ක්‍රියා කිරීම ද තවත් වගකීමකි. ඒ අනුව ඉහත කී ගුණාංග පැමිණිලි විභාග කිරීමේ දී උපයෝගි කර ගැනීමෙන් පුවත්පත් මණ්ඩලය පුවත්පත් නිදහසට බාධාකාරී ආයතනයක් නොවන බව ඉතා කෙටි කාලයක් තුළදී තහවුරු කොට තිබේ.

ක්‍රමයෙන් වගඋත්තරකාර පුවත්පත් කලාවේදීන් සහ පැමිණිලිකාර පාර්ශවයන් මණ්ඩලය ඉදිරියේ පැවැත්වෙන විභාග කටයුතුවලදී ඉතාමත් සහයෝගයෙන් හා සමථයන් ඇතිකර ගනිමින් ගැටලු නිරාකරණය කර ගන්නා තත්ත්වය නිර්මාණය කිරීමට මණ්ඩලය සමත්වීම සුවිශේෂ ජයග්‍රහණයකි.

පැමිණිලි විභාගයේ දී දෙපාර්ශවයේ එකඟතාව මත විමර්ශන කටයුතු සිදු කිරීම, ජනතා අයිතිවාසිකම් තහවුරු කිරීම මෙන්ම ජනමාධ්‍ය නිදහස අර්ථවත් කිරීම මණ්ඩලයේ අභිප්‍රාය වේ . යම් පැමිණිල්ලක් ලැබුණු විගස ඉතා ක්ෂණිකව ඊට අදාල විමර්ශන කටයුතු ආරම්භ කරන අතර මාස 3 ක් ඇතුළත විභාග කටයුතු අවසන් කර තීන්දු තීරණ ලබාදීමට උපරිම උත්සහය දරනු ඇත.

මූලික අභියෝගය ජය ගැනීමෙන් පසු කේෂ්ත්‍රයේ නියුක්ත ප්‍රධානීන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, පූජ්‍ය පක්ෂය සහ විවිධ බහුජන සංවිධානවල දායකත්වයෙන් පුවත්පත් ආචාර ධර්ම සංග්‍රහයක් හඳුන්වාදීමට 1981 වර්ෂයේ දී මණ්ඩලය ක්‍රියා කළේය. නෛතිකව කෙරෙන බල කිරීමට වඩා ස්වයං විනයකින් කටයුතු කිරීමට ජනමාධ්‍යවේදීන් පෙළඹවීම ආචාර ධර්ම පද්ධතියේ මූලික අරමුණ වේ. මෙය ශ්‍රී ලංකාවේ පුවත්පත් මාධ්‍ය සම්බන්ධයෙන් නෛතිකව ක්‍රියාත්මක එකම ආචාරධර්ම සංග්‍රහයයි.

ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත්කරනු ලබන කවර හෝ පුවත්පතක් සඟරාවක් මෙම ආයතනයේ ලියාපදිංචි කළයුතු අතර ආරම්භයේ සිටම පුවත්පත් ලියාපදිංචිය මෙහි ප්‍රමුඛතම කාර්යයක් විය. ඒ අනුව සෑම වර්ෂයකම මාර්තු 31 වන දිනට පෙර පුවත්පත් ලියාපදිංචිය කරනු ලැබේ. එමෙන්ම සෑම වර්ෂයකදීම පුවත්පත් ලියාපදිංචිය අලුත් කිරීම ද කළ යුතුය.

මෙම ප්‍රධාන කාර්යයන්ට අමතරව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණ, වැඩමුළු, පාඨමාලා පැවැත්වීම සහ පුවත්පත් කලාව පිළිබඳ ශාස්ත්‍රීය ග්‍රන්ථ ප්‍රකාශන එළිදැක්වීම වැනි වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනු ලබයි . 1992 වසරේ සිට මේ දක්වාම ජනමාධ්‍ය හා සන්නිවේදන අධ්‍යනය ආශ්‍රය කරගෙන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයෙන් ප්‍රකාශන ගණනාවක් එළිදක්වා ඇත. ඒවායින් ඇතැම් ප්‍රකාශන ජනමාධ්‍යවේදයේ අත් පොත් ලෙස ද භාවිත වේ.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ප්‍රකාශන

  • 1993 - පුවත්පත් කලා සමීක්ෂා - I
    (සංස්කාරක උපදේශකත්වය මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා - පුවත්පත් කලාව සම්බන්ධයෙන් මෙරට පළවී ඇති පිළිගත් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් වන අතර මතභේදාත්මක විෂයන් පිළිබඳ විවිධ ප්‍රවේශයන්ගෙන් ලියැවුණු විවාදාත්මක ලිපි ඇතුළත් වේ )
  • 1998- පුවත්පත් කලා සමීක්ෂා - II (“පෑන් තුඩක අරවින්දය” නමින් ද ඇතැම් මාධ්‍යවේදීන් මෙය හඳුන්වා ඇත.)
  • 2000- ප්‍රාදේශීය ප්‍රවෘත්තිකරණයට ප්‍රවේශයක්
  • 2003- පුවත්පත් කලා සමීක්ෂා - III
    (වරින් වර බිහිවන අශ්ලීල ප්‍රකාශන පිළිබඳ විද්‍යාත්මක හා පර්යේෂණාත්මක විශ්ලේෂණයක් සිදු කිරීම අරමුණ වේ. )

ආරම්භයේ දී පුවත්පත් මණ්ඩලයේ ප්‍රකාශන පුවත්පත් කලාව සහ පුවත්පත් කලාවේදියා කේන්ද්‍රගත කරගෙන නිකුත් වුවද අද වන විට සෙසු මාධ්‍ය ද ආවරණය වන පරිදි ප්‍රකාශන බිහි කිරීමට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය තීරණය කර තිබේ.

  • 2010 - මාධ්‍ය සමීක්ෂා 1 සඟරාව
  • 2011 - සන්නිවේදන විවිධාංග (මේ යටතේ ශ්‍රී ලංකාවේ පුවත්පත් ප්‍රභවය සහ අභිවර්ධනය”, මාධ්‍ය සාක්ෂරතාව හැඳින්වීමක්”, භාෂාව හා සන්නිවේදනය” , මාධ්‍ය අධ්‍යාපනය හා පුවත්පත” සහ ඡායාරූපික පුවත් කලාව පිළිබඳ හැඳින්වීමක්” නමින් මාධ්‍යවේදී අත් පොත් පහක් එළි දක්වා ඇත)
  • මාධ්‍ය සමීක්ෂා II
  • 2018- මාධ්‍ය සමීක්ෂා III
    (අ.පො.ස. (උ/පෙළ) සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය” විෂය හදාරන්නන්ට ,බාහිර උපාධි පාඨමාලාවන්හි සන්නිවේදනය විෂයක් ලෙස හදාරන සිසුන්ට මෙන්ම විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට වැදගත් වන ග්‍රන්ථයකි)

තවද මේ වන විට සමාජ මාධ්‍ය ප්‍රවණතා පිළිබඳ වැදගත් ලිපි ඇතුළත් වන මාධ්‍ය සමීක්ෂා IV ග්‍රන්ථය ද ප්‍රකාශයට පත් කිරීමට සියලු කටයුතු සම්පාදනය කර ඇත. එය කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස උපහාර කලාපය ලෙස එළි දැක්වීමට නියමිත ය.

වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීම
ප්‍රකාශන එළිදැක්වීමට අමතරව වැඩමුළු හා සම්මන්ත්‍රණ පවත්වාගෙන යාම මෙහි ප්‍රමුඛතම කාර්යයකි. එලෙස සංවිධානය කෙරෙන වැඩමුළු හා සම්මන්ත්‍රණ රාශියකි.

  • ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, පාසැල් හා විශ්වවිද්‍යාල සිසුන්,පාසැල් ගුරුවරුන් සඳහා පවත්වනු ලබන වැඩමුළු.
  • අ.පො.ස. (උ/පෙළ) විෂයට නිර්දේශිත සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය අලලා අගනුවරින් බැහැර ප්‍රදේශවලට ගොස් සිසුන්ගේ විෂය දැනුම හා අවබෝධය පුළුල් වන ආකාරයට පවත්වනු ලබන දේශන හා සාකච්ඡා.

    ඒ අනුව මේ වන විට අධ්‍යාපන කලාප මට්ටමින් විශාල වැඩමුළු සංඛ්‍යාවක් පවත්වා ඇත. විශේෂයෙන්ම සිසුන්ගේ මාධ්‍ය සාක්ෂරතා අවබෝධය හා රසවින්දනය දියුණු කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන පාඨමාලා

වර්තමානයේ ’මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව” නමින් එක් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කර ඇත. වෘත්තීය හා ආධුනික මාධ්‍යවේදීන් සඳහා ආරම්භ කර ඇති මෙහි විෂය නිර්දේශය යුනෙස්කෝ සංවිධානය මඟින් හඳුන්වා දෙන ලද පුවත්පත් කලා පුහුණුව පිළිබඳ ලේඛනය පදනම් කර සකස් කර ඇත. පුවත්පත් හා මාධ්‍ය කලාව පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික දැනුමක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නන්ට මෙම පාඨමාලාව හා සම්බන්ධ විය හැකිය. මෙම පාඨමාලාව විශ්වවිද්‍යාල ඩිප්ලෝමා පාඨමාලාවකට සමාන ප්‍රමිතියකින් පවත්වා ගෙන යනු ලැබේ.

පුවත්පත් කලාව පිළිබඳ සහතිකපත් පාඨමාලාව ද ජනමාධ්‍ය අධ්‍යනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නන් සඳහා පවත්වාගෙන යනු ලැබේ. මෙම පාඨමාලාව හදාරන්නන් සඳහා ජාතික වෘත්තිය සුදුසුකම් සහිත සහතිකයක් (NVQ) ද පිරිනැමේ . සියලු පාඨමාලාවන්හි විශ්වවිද්‍යාල කථීකාචාර්යවරු, උසස් වෘත්තීය කුසලතාවන්ගෙන් හෙබි මාධ්‍යවේදීන් හා විෂයානුබද්ධ සන්නිවේදකයින් සම්පත් දායකයන් ලෙස කටයුතු කරන අතර ජනමාධ්‍ය කේෂ්ත්‍රයට මෙමඟින් සැලකිය යුතු මාධ්‍යවේදීන් පිරිසක් බිහි කර ඇත.

වෘත්තීය මාධ්‍යවේදීන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරීමේ අරමුණ ඇතිව ඉංග්‍රීසි භාෂා සහතික පත්‍ර පාඨමාලාවක් ආරම්භ කරන ලද අතර එය නැවත සක්‍රිය කිරීමට ද මණ්ඩලය අපේක්ෂා කරයි. මාධ්‍යවේදීන් සඳහා දෙමළ භාෂා පාඨමාලාවක් ද ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත අතර එමඟින් අපේක්ෂා කරනුයේ වෘත්තීය මාධ්‍යවේදීන්ගේ දෙමළ භාෂා අවබෝධය වැඩි දියුණු කිරීමයි.

  • පෞද්ගලික ආයතන හා සංවිධානවල ඉල්ලීම පරිදි විෂයානුබද්ධ වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීම,
  • මාධ්‍ය සංවිධාන, පාසල් මාධ්‍ය සංවිධාන ලියාපදිංචි කිරීම
  • කාලීන වශයෙන් වැදගත් ග්‍රන්ථ" සාහිත්‍ය හා කලා කටයුතු ඉලක්ක කර ගනිමින් සන්නිවේදන තකිකාවත නම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම,
  • කාලීන මාතෘකා ඇසුරින් මාසික දේශන මාලාවක් පැවැත්වීම
  • ජේෂ්ඨ ජනමාධ්‍යවේදීන්ගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කිරීම
  • ජනමාධ්‍යවේදීන්ගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කිරීම
  • ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ වත්මන් කාර්යභාරය අතර තවත් වැදගත් කාර්යයන් වේ.

කාලීන වශයෙන් වැදගත් වේ යැයි හැඟෙන එමෙන්ම සමාජ හා සංස්කෘතිකමය වශයෙන් බලපෑම් සිදු කරන මාතෘකා හඳුනාගෙන පර්යේෂණ සිදු කිරීම හා එමඟින් අනාවරණය වන කරුනු ඔස්සේ අදාල පාර්ශවයන්ට උපදෙස් සැපයීම මණ්ඩලය මඟින් සිදු කරනු ලබන තවත් වැදගත් කාර්යයක් වේ. ඒ අනුව විශ්වවිද්‍යාල හා ඒකාබද්ධව පර්යේෂණ කීපයක් සිදු කරමින් පවතී.

වර්තමානය වන විට ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලය දකුණු ආසියානු පුවත්ප;a මණ්ඩල සංගමය සමග පමණක් නොව ලෝක පුවත්පත් මණ්ඩල සංගමය සමග ද දැනුම හා සම්පත් හුවමාරු කර ගැනීමෙහිලා උත්සුක වී කටයුතු කරයි.

එමෙන්ම මේ වනවිට ක්රියාත්මක 1973 අංක 5 දරන පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේ අවශ්යතාවයක් ද මතුව තිබේ .මෙම සංශෝධනය ද සියලුම මාධ්ය ආවරණය කරමින් වඩාත් විධිමත් හා පුළුල් අර්ථයකින් සිදු කළ යුතුව තිබේ. මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ’සෞභාග්යයේ දැක්ම˜ ප්රතිපත්ති ප්රකාශනයේ පවා පහත අයුරින් දක්වා තිබේ.

“පුවත්පත් මණ්ඩලය ව්යුහාත්මක ලෙස ප්රතිසංස්කරණය කර විද්යුත් මුද්රිත හා නව මාධ්ය ආවරණය වන පරිදි මාධ්යවේදීන් හා මාධ්ය ආයතන පිලිබඳ විනිශ්චය ආයතනයක් ලෙස ද මාධ්ය අධ්යාපනය ප්රවර්ධනය කෙරෙන මධ්යස්ථානයක් ලෙස ද ප්රතිසංවිධානය කෙරේ ˜

ඒ අනුව මෙරට තුළ පුවත්පත් නිදහස ද ජනතා අයිතිවාසිකම් ද ආරක්ෂා කරමින් ජනමාධ්‍යවේදීන් දැනුවත් කරමින් යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩ නැගීමේ අරමුණ ඇතිව පුරා දශක හතරක් මුළුල්ලේ ශ්‍රී ලාංකේය ජනතාවගේ පැසසුමට ලක් වෙමින් මෙමඟින් සිදු කරනු ලබන මෙහෙය අනාගතයේ තව තවත් ආකර්ශනීයවත්, වඩා ඵලදායිවත්, පුළුල්වත් ප්‍රශස්ත අන්දමින් ඉටු කිරීම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අපේක්ෂාව වනු ඇත.

අරමුණු

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693272 / 0112 693271